+94 777 238 019 iasl@isplanka.lk

News & Events

ශ්‍රී ලංකා රක්‍ෂණ සංගමය (IASL) සහ එහි සාමාජික සමාගම් සෑම වසරකම සැප්තැම්බර් මාසයේදී ‘රක්‍ෂණ මාසය‘ සමරනු ලබයි. 2017 වසරේ ශ්‍රී ලංකා රජය විසින් සැප්තැම්බර් 01 වැනි දින ජාතික රක්ෂණ දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව වසරක් පාසා සැප්තැම්බර් 01 වැනිදායින් ඇරඹෙන මාසය රක්ෂණ මාසය ලෙසින් සැමරීමට යෙදී තිබේ. ‘දැනුවත්ව සිටීම ආරක්ෂිතව සිටීමයි‘ යන තේමාව මූලික කරගෙන මෙවරද රක්ෂණ මාසය තුළ ජනතාව දැනුවත් කිරීමේ කටයුතු ශ්‍රී ලංකා රක්ෂණ සංගමය විසින් කරගෙන යන්නේය. වසංගතය හා ආර්ථික අර්බුදය වැනි වාතාවරණයන් හමුවේ, ජනතාවට අත්‍යවශ්‍ය රැකවරණයක් ලෙසින් රක්ෂණයේ වැදගත්කම අවබෝධ කරදීම කරදීම පිණිස, IASL මෙම රක්ෂණ මාසය පුරා කටයුතු කරනු ඇත.

වර්තමාන පාරිභෝගික ජනතාව තමන්ගේ සෞඛ්‍ය, අධ්‍යාපන සහ විශ්‍රාම දිවිය සැලසුම් කිරීමට වැඩි අවධානයක් යොමුකරයි. ඉහල යන ජිවන වියදමත් සමඟ, පාරිභෝගිකයන්ගේ වෙනස් වන අවශ්‍යතා අවබෝධ කරගනිමින් ඔවුන්ට අවශ්‍ය රැකවරණය ලබාදීමට රක්ෂණ ක්ෂේත්‍රය සෑම විටම සුදානමින් සිටී. ඒ සඳහා, සුවිශේෂී ඩිජිටල් පරිවර්තනයක් කරා කඩිනමින් ගමන් කළ මුල්ම ක්ෂේත්‍රය වන්නේද රක්ෂණ ක්ෂේත්‍රයයි. වෙනස් වනූ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා වන නව වෙනස්කම් වෙනුවෙන් අද වන විට ක්ෂේත්‍රය වැඩි වැඩියෙන් ආයෝජන සිදු කරන්නේ, වත්මන් පාරිභෝගික හැසිරීම හඳුනා ගත හැකි දත්ත රැස් කිරීම හා පර්යේෂණ වෙනුවෙන් ය. එමෙන්ම, වර්තමානයේ රක්ෂණ ක්ෂේත්‍රය AI, machine learning, හා automation ආදී ඩිජිටල්කරණය මගින් මෙහෙයවෙන ‘Insurance-tech' කරාද පියවර නගා තිබෙන්නේ, මුළුමනින්ම ඩිජිටල්කරණය වූ ක්‍රියාවලියක් ඔස්සේ පාරිභෝගිකයින් හට රක්ෂණ ආවරණ ලබාදීමේ අරමුණින්ය. එසේම ඩිජිටල් හෝ ඩිජිටල් නොවන මාධ්‍ය තුලින් පාරිභෝගිකයින්ට රක්ෂණ ආයතන සමඟ පහසුවෙන් සහ ඉක්මනින් සම්බන්ධ විය හැකි ලෙස ඉඩ ප්‍රස්ථාව සලසා දීමට සියළුම රක්ෂණ ආයතන කටයුතු කර ඇත. අන්තර්ජාල ගෙවීම් ක්‍රම, පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම, පාරිභෝගික යෙදුම් Customer App වඩාත් සරළ කළ පාරිභෝගික ලියාපදිංචිය, විධිමත් ප්‍රාරක්ෂණ හා හිමිකම් ලබා ගැනීම් ආදිය වත්මන් පාරිභෝගිකයින් හට හදුන්වා දී ඇත.

රක්ෂණ ක්ෂේත්‍රය විධිමත්ව නියාමනය වන ක්ෂේත්‍රයක් හේතුවෙන් රක්ෂණ පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ආයෝජන සහ ඉන් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව සියළුම රක්ෂණ ආයතන සහතික වේ. එසේම පාරිභෝගිකයින්ට මතුවන ගැටළු පිලිබඳ සාකච්ඡා කිරීමට ඔම්බුඩ්ස්මන් සේවාවද හඳුන්වා දීමට රක්ෂණ ක්ෂේත්‍රයේ සියලු‍ම ආයතන ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව හා එක්ව කටයුතු කළේය. වගකිව යුතු ක්ෂේත්‍රයක් ලෙස රක්ෂණ ක්ෂේත්‍රය රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් මෙරටට ලබා දී තිබෙන අතර මේ වන විට 63,000 කට අධික පිරිසක් රක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවල නිරත වේ.

ගෝලීය රක්ෂණ ක්ෂේත්‍රයේ නිරන්තරයෙන්ම සිදුවන ධනාත්මක වෙනස්කම්, නව ප්‍රවණතාවන් සහ රක්ෂණ ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් හඳුන්වා දෙන ප්‍රතිපත්ති හා ප්‍රමිති වලට අනුගත වීමට ශ්‍රී ලංකා රක්ෂණ ක්ෂේත්‍රය නිරන්තරයෙන්ම කටයුතු කරයි. මෑතකදී හඳුන්වා දුන් ගිණුම්කරණ ප්‍රමිතියක් වන IFRS 17 (ජාත්‍යන්තර මුල්‍ය වාර්තාකරණ ප්‍රමිතිය :(International Financial Reporting Standard) හේතුවෙන් රක්ෂණ ක්ෂේත්‍රයේ මුල්‍ය වාර්තාකරණයේ වෙනස්කම් සිදුවනු ඇත. ශ්‍රී ලංකා රක්ෂණ ක්ෂේත්‍රය ද මෙයට අනුගත වීමට මේ වන විට කටයුතු කරමින් සිටින අතර 2025 වර්ෂයේ සිට එම ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුව මුල්‍ය වාර්තාකරණයේ යෙදීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ සියළුම රක්ෂණ ආයතන නියෝජනය කරන, ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) මේ රක්ෂණ මාසය්දී විද්‍යුත්, මුද්‍රිත, ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ඇතුළු බොහෝ සන්නිවේදන මාධ්‍ය භාවිතා කරමින්, රක්ෂණයේ වැදගත්කම ජනතාව අතර ප්‍රචලිත කිරීමට පියවර ගනියි. එමෙන්ම, සුවිශාල අලෙවි බලකායකින් සමන්විත මෙරට රක්ෂණ ක්ෂේත්‍රය එහි සියලු‍ රක්ෂණ සමාගම්වල රක්ෂණ උපදේශකවරුන් මාර්ගයෙන් දිවයින පුරාම ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවන් පැවැත්වීමට කටයුතු කළේය.

IASL පිළිබඳව

ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) 1989 වසරේ මෙරට පිහිටුවන ලද රක්ෂණ ක්ෂේත්‍රය සම්බන්ධ නියෝජිත ආයතනය වන අතර, ශ්‍රී ලංකාව තුළ රක්ෂණ ව්‍යාපාර පවත්වාගෙන යන සියලු‍ රක්ෂණ සමාගම් එනම්, දැනට ලියාපදිංචි වී ඇති රක්ෂණ සමාගම් 27 ම ෂ්ීඛ හි සාමාජික ආයතන වේ. ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් රක්ෂණයේ ආරක්ෂාව සැලසීමේ ප්‍රයත්නයට සමගාමීව, සාමාජික ආයතනවල සුභසාධනය වෙනුවෙන් සමාගම් අතර සහයෝගිතාව ඇති කිරීම සඳහා රක්ෂණ ආයතන පෙළ ගැස්වීමේ පොදු අරමුණෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංගමය කටයුතු කරයි.